උස්සන්ගොඩ - රතු පස් ස්ථරය සහිත කළමැටිය අභය භූමිය. .......



      උස්සන්ගොඩ ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිහිටි මෙම භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ශාක තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. තවත් විටෙක බැලූ බැලූ හැම, පස රත් පැහැති ශාක නොවැඩුණු භූමියයි. ඒ අතර පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ශූෂ්ක භූමියක අසිරිය ගනියි.  කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය එකල සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය.   
  
සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ ජනප‍්‍රවාද රැසක ද උපන් බිමකි.  දිවයිනේ පිහටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත උස්සන්ගොඩ අද පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි.     තංගල්ල හම්බන්තොට මාර්ගයට සමීපව පිහිටි කළමැටිය අභය භූමිය හෙක්ටයාර 712 ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියකි. ඒ අතරින් හෙක්ටයාර් 111 ක් පුරාවිද්‍යාත්මක උරුමයන් ලෙස ද නම් කොට ඇත. එලෙස නම් කොට ඇත්තේ උස්සන්ගොඩ පිහිටි ප‍්‍රදේශයයි.
උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටිනා ලාවා වැනිය. පස පිළිබඳ පර්යේෂණ සිදු කරන විශේෂඥයින්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.     කළමැටිය අභය භූමියේ උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි.

උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන ලද විද්‍යාඥයින්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයනු ලබයි.
උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.

උස්සන්ගොඩ අතීතයේ දී  දඬු මොණරයනැමති ගුවන් යානාව ගොඩ බට බිමයි. ශ‍්‍රී ලංකාවේ රාවණා රජු ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි දඬු මොණරයඑලෙස ගොඩ බස්සවා ඇත. ඊට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි.
උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් වෙයි. අතීතයේ උල්කාපාතය පතිත වූ ස්ථානය එය ලෙස ඇතමෙක් විශ්වාස කරති. ඒ පිළිබඳව ජනප‍්‍රවාදයක සඳහන් වන්නේ වෙනත් මෙවැනි කතාවකි.  මංගර දෙවියන්ට වාහනය වෙලා තිබෙන්නේ කුළු මීමෙක්. කදිරකියන්නේ එම කුළු මීමගෙ නම. දිනක් මෙම කදිර උස්සන්ගොඩ තිබෙන වළේ බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද කදිරගොඩකියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.
කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගරහෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් කොට ඇත. එකල සිටම අවධානයට ලක් වූ ප‍්‍රදේශයක් ලෙස එම නිසා උස්සන්ගොඩ හඳුනාගත හැකිය.
එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු  බව ප‍්‍රදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අද්‍රෘෂ්‍යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී.

උස්සන්ගොඩ එකල රජ මාලිගයක් ඉදි කොට තිබී ඇත. එය මානාභරණ නැමති රජතුමාට අයත් වූවකි. මහ මුහුද විසින් බිලි ගෙන ඇති පරෙයිගලනැමැති ස්ථානයේ එම රජ මාලිගය ඉදි කොට තිබුණි. එහි ගල් කණු ආදී නටඹුන් තමා කුඩා කල දී දුටු බව දැන් ඒවා මුහුද බත් වී ඇති බව ද පැවසේ.
පරෙයිගල පිහිටි එම රජ මාලිගයේ සිටි රජතුමා යුද්ධයකට ගොස් ඇත. තමා ජයග‍්‍රහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරෂයින් විසින් රැගෙන එනු ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා තිබේ. අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට සිතා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත. සිය සැමියා මිය ගිය ගොස් ඇතැයි සිතූ භාර්යාවෝ සත් දෙනා සිය දිවි නසා ගන්නට සිතූහ.
උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගෙඟ් අතුගංගාවක් වන කොටි ආරනැමති ඇළ දිගේ ඉහළට මෙම භාර්යාවන් සත් දෙනා ගමන් කොට ඇත්තේ සිය දිවි නසා ගැනීමේ බලාපොරොත්තුවෙනි. ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ද ආභරණ ඇල්ලලෙස හඳුන්වයි. එහෙත් එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයෙකුට හැකි වී ඇත. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බොරා ගැනීමට එම පුද්ගලයා සමත් විය. පසුව එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගැනුණි. උස්සන්ගොඩට නුදුරු රොඞී මෑල්ලට එම නව ව්‍යවහාර වන්නේ ඉහත කී ජනප‍්‍රවාදය නිසාය. ඉන් පසුව රජ මාලිගයේ විසීම පවා රජුට එපාවී ඇත.

ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන් ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය. දෙස් විදෙස් සංචාරකයෝ ඒ වෙත පැමිණෙති. උස්සන්ගොඩට යාමට ඇති තාර හෝ කොන්ක‍්‍රීට් හෝ නොදැමූ පාර වැසි දිනවලට ජලය පිරිණු වළවල් බවට පත් වෙයි. එවා සැකසීමට පියවර ගැනීම බලධාරීන්ට බාර ය. අනෙක් අතට ඒ වෙත යනෙන ඇතැම් සංචාරකයින් ද එම මා හැඟි උරුමය මත පොළිතින්, මත් පැන් බෝතල්, ආදිය දමා නොයෑමට තරම් මිනිස්කම් ඇති කරගත යුතුය.

1 අදහස් දක්වන්න....: