සිංහරාජ වනාන්තරය ... එදා “සිංහරජදහන” - අද ලෝක උරුමය



                                  
ලක්දිව විසූ අවසන් සිංහයා තම  ආධිපත්‍යය පතුරුවමින් වාසය කළ මහා වනය පසු කලෙක සිංහරාජය ලෙස හැඳින්වූ බවට ද මතයක් තිබේ. මේ සිංහයා මරා දැමීමට භාවිතා කළ බව කියන ගල් සහිත ප‍්‍රදේශය යෝධ ගල්ගොඩ නමින් හඳුන්වන බවත්, සිංයා ජීවත්වූ ප‍්‍රදේශය සිංහගල ලෙසත් සිංහයා විසූ ගුහාව සිංහ ගුහාව ලෙසත් අදටද ව්‍යවහාරයේ පවතී.

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ. රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි.
සිංහරාජයට ඇතුළුවීම සඳහා මාර්ග හතරකි. කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනිං සයිඩ් මාර්ගය, හිනිදුම නෙළුව මාර්ගය හා දෙනියාය පල්ලේගම මාර්ගය ඒවා වෙයි.
වාර්ෂිකව මිලි මීටර 3000 ත් 5000 ත් අතර වර්ෂාපතනයකි මේ වනාන්තරය වියළි කාලගුණය ඇති සමයක් නොමැති තරම්ය. අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී 

දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි.
සිංහරාජ වනාන්තරයේ ප‍්‍රධාන ස්ථර පහකට විහිදුණු ශාක ප‍්‍රජා දැකිය හැකිය. උඩු වියන් ස්ථරය  ( බටු නා, වැලිපියන්න, කීන , තිනිය දුන්, බෙරලිය, කිරි හැඹිලිය වැනි ශාක මෙයට අයත් වේ), උප වියන් ස්ථරය (හැඩවක, මලබොඩ, දිය නා, කටමොද වැනි ශාක වලින් සමන්විතය), යටි ස්ථරය (මඩොල්, අතුකැටිය වැනි ශාක මෙහි ඇත), පඳුරු ස්ථරය ( වල් බෝම්බු, පිනිබරු, පෙරතඹල වැනි ශාක විශේෂ වලින් මෙම ස්ථරය සෑදී තිබේ) හා ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක (වල් ගම්මිරිස්, මීවන වර්ග) යනුවෙන් ස්ථරය වශයෙන් පැහැදිලිව වෙන් කළ හැකි මෙම වනාන්තරයේ දැකිය හැකි ශාක රැසක් ලංකාවට ආවේණික වේ. විශාල විවිධත්වයක් පෙන්වන ශාක අතර මුලාවැල්ල, හිනිපිටිගල හා මෝනිං සයිඞ් ප‍්‍රදේශයේ පිහිටි ශාක වල කඳුකර වනාන්තර වල ඇති ලක්ෂණයන්ද දැකගත හැකිවීම විශේෂත්වයකි. සියයට 75 කට අධික ආවේණික ශාකවලින් යුතු සිංහරාජයේ ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් ශාක සිය ගණනක් ඇතැයි පර්යේෂකයෝ පවසති.

ශී‍්‍ර ලංකාවට ආවේණික ශාක සමූහ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තාවී ඇත. වට ප‍්‍රමාණය සෙන්ටිමීර 30 කට වඩා අඩු ශාක විශේෂ වලින් සියයට 60 ක් පමණ ලංකාවට පමණක් ආවේණික ශාකයෝය. . වනය තුළ දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ 340 ක් දැකිය හැකි අතර ඉන් 192 ක්ම ලංකාවට ආවේණිකය. ඉන් විශේෂ 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේම පමණි.


මෙම වනයේ සමස්ථ වෘක්ෂලතා සැළකූ විට එහි ඝනත්වය හෙක්ටයාරයකට ඒකකයන් 240,000 කට අධික බව ගණන් බලා තිබේ. ඉන් සියයට 95 ක්ම බිම් ස්ථරයේ වෙයි.
අතීතයේ සිංහරාජ වනාන්තරයේ අලි බහුලව සිටි බව අවට ගම්වාසීහු පවසති. දැන් අලි ගහණය ඉතා අඩුවී ගොසිනි. රක්වාන ආසන්න වනාන්තර ප‍්‍රදේශයේ සැරි සරන අලි තිදෙනෙකු වරින් වර නිරීක්ෂණය කැර ඇත. දිවියා, ගෝනාඕලූ මුවා, කොළ දිවියා ඇතුළු අතිවිශාල සත්ත්ව ප‍්‍රජාවකට වාස භූමි වී ඇති සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායී විශේෂ 12 න් 08 ක් වාර්තාවී ඇත. පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජ වනාන්තරයේ ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැක. කැහිබෙල්ලා, සුදු ශාරිකාවා, හිස අළු දෙමළිච්චා, බට ඇටිකුකුළා, සිතාසියා, පතිගෝමර තිරාසිකයා ඒ අතරින් විශේෂ කිහිපයකි.

විශේෂ වර්ග 45 කට අයත් උරගයෝ සිටති ඉන් විශේෂ 21 ක් ම ශී‍්‍ර ලංකාවට අවේණිකය. කටුසු වර්ග කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන්ද ඒ අතර වෙයි. අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ දෙක ද සිංහරාජයේදී දැකිය හැකිය.. ඉතා දුර්ලභ මූකලන් කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝදිලිමා ද පුංචි අං කටුස්සාද සිංහරාජයේ තවත් උරග විශේෂ කිහිපයකි.
අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද සිංහරාජයේ වාසය කරයි. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම් වල පස් යට ජීවත් වෙයි. , ක්ෂීරපායීන් 40  ක් පමණ, මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනළ විශේෂ 65 ක් පමණද සිංහරාජ වනාන්නරයෙන් වාර්තාවේ.
ශී‍්‍ර ලංකාවේ ස්වභාවික පරිසරයේ පැවැත්ම කෙරෙහි අතිවිශාල දායකත්වයක් සපයන සිංහරාජ වනාන්තරය අවට ජීවත් වන ජනයාද මෙම වනාන්තරයෙන් ලබා ගන්නා කිතුල්, වේ වැල්, සාදික්කා, පළතුරු, ශාක තෙල් හා දුම්මල වැනි නිෂ්පාදනයන්ගෙන් තම ආර්ථිකය ගොඩනගා ගෙන ඇත..

කලක් රාජ්‍ය අනු‍ග්‍රහය ඇතිව හෙළි පෙහෙළි කැරුණු සිංහරාජ වනාන්තරය ඒ අවට පදිංචි කරුවන් විසින් ආක‍්‍රමණය කර වගා බිම් ඇති කිරීම හේතුවෙන් විනාශවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය දෙස් විදෙස් පර්යේෂකයන්ගේ තෝතැන්නක් වී තිබේ.      මහද්වීප සියල්ල එක්ව පැවැති ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් මිනිස් පහසින් නොකළැල්වු මහා වනයක් ශී‍්‍ර ලංකාවේ වෙයි. එය සිංහලයේ රාජ වනය හෙවත් සිංහ රාජයයි.
ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද,  1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ සිංහරාජයයන නාමය සිංහරජදහනඅරුත් ‍දේ.
      
රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක  විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.
සිංහරාජයට ප්‍රවේශවීමට ප්‍රධාන ප්‍රවේශ ස්ථාන 3 කි.
1.     කොළඹ - රත්නපුර - කලවාන මාර්ගය (කුඩව ප්‍රවේශය)
2.     කොළඹ - රක්වාන - මෝර්නිංසයිඩ් මාර්ගය (මෝර්නිංසයිඩ් ප්‍රවේශය)
3.     කොළඹ - දෙනියාය - මෙදේරිපිටිය මාර්ගය (පිටදෙනිය ප්‍රවේශය)
සිංහරාජ වනාන්තරයේ දළ වාර්ෂික වර්ෂාපතනය මි.මී. 3000 – 6000 වන අතර වසර පුරාම වර්ෂාව පවතී.  දළ වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 – 25 අතර අගයක පවතී.  සිංහරාජ වනාන්තරය කඳු වැටි, නිම්න සහ තැනිතලා බිම් යනාදී වූ විවිධාකාර භූ විෂමතා ලක්ෂණ රැසකින් සමන්විත වේ.


සිංහරාජ වනාන්තරයේ වෘක්ෂලතාදී දර්ශය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික නිවර්තන පහතරට තෙත් සදාහරිත වනාන්තර වර්ගයෙන් සමන්විත වේ.  මෙයට අමතරව, උප කඳුකර වනාන්තර සහ උප කඳුකර තෘණ බිම් ද දක්නට ලැබේ.  මෙම අද්විතීය වර්ෂා වනාන්තරයේ පාරිසරික විවිධත්වය සඳහා මිරිදිය වාසස්ථාන, කඳු සහිත බිම් කොටස් සහ අනෙකුත් ආශ්‍රිත පරිසර පද්ධති මගින් ද විශාල දායකත්වයක් සැපයේ.

මෙම වනාන්තරයේ සිරස් ස්ථරීභවනය ඉතා පැහැදිලි වූද, ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වූද, ලක්ෂණයකි.  හොර, බූහොර, දොරණ සහ දුන් යනාදී ශාක විශේෂවලින් ඉහළම ස්ථරය සමන්විත වන අතර, මෙම ස්ථරයේ මීටර් 45 කට වඩා වැඩි උසකින් යුත් ඉතා උස් ශාක දැකිය හැකිය.  ‍දෙවන ස්ථරය මීටර් 30 – 45 ක් පමණ උසකට වර්ධනය වන අතර, බටුනා, ඇටඹ, වල්දෙල්, ලියන් සහ නවද යනාදී ශාක විශේෂවලින් සමන්විත වේ.  මෙම ශාකවල අතු එකිනෙක හා පෑහී සංවෘත වියන් ස්ථරයක් සාදා තිබීම විශේෂ ලක්ෂණයකි.  දවට, හැඩවක, කිතුල් සහ වලුකීන යන ශාක විශේෂ තුන්වන ස්ථරයේ පවතින අතර, මෙම ස්ථරය මීටර් 15 – 30 අතර උසකට විහිදේ.  මෙයට පහළින් පවතිනුයේ යටි වියන් ස්ථරයයි.  මෙය මීටර් 20 ක් පමණ උසකට විහිදේ. පඳුරු ස්ථරය මීටර් 2 – 4 අතර උසකට ද බිම් ස්ථරය මීටර් 1 කට වඩා අඩු උසකට ද සීමා වී තිබේ.

0 අදහස් දක්වන්න....:

Post a Comment