සරම් මුදලි තුමා - ගංඟා රෝහන වර්ණනාව - සව් සත්දම් වාදය -



 
                                   දකුණු ලක මාතර විසූ සරම් මුදලිතුමන් යුග පුරුෂයෙක්‌ වෙයි. බටහිර අධිරාජ්‍යවාදීන් ගෙන් මුදලි තනතුරක්‌ ලබාගෙන බොදු පුනරුදය උදෙසා උතුම් මෙහෙවරක නියෑලුණු ප්‍රභූවරුන් ඉතිහාසයේදී අපට මුණගැසෙන්නේ අතළොස්‌සකි. එයින් ප්‍රසිද්ධියේ බෞද්ධ පුනරුදය ඇති කිරීමෙහිලා වෙහෙස මහන්සි වී ස්‌වකීය ධනය පරිත්‍යාග කළ මුදලිවරයකු වෙනත් නොමැති තරම්ය.

සරම් මුදලිතුමා ලෙස පොදු ව්‍යවහාරයේදී භාවිතා වුවද එතුමාගේ සම්පූර්ණ නම දාවිත් ද සේරම් විජයසේකර ජයතිලකරත්නය. ලන්දේසින් විසින් එතුමාට මාතර ප්‍රාදේශය භාර මුදලි තනතුරක්‌ ලබාදී ඇත්තේ 1760 දීය. සරම් මුදලිතුමා බටහිර ජාතීන්ගෙන් තාන්න මාන්න ලැබූ ගිහි ප්‍රභූවරයකු ලෙස පොදු ජනතාව අතර සිවිල් බලයක්‌ සතුව ජීවත් විය. ඔහුගේ වලව්ව එකල මහේශාක්‍ය ලීලාවෙන් ඉදි කොට තිබිණි. ඇතැම් වෙනස්‌කම් සිදු කොට ඇතත් එය (මාතර රාහුල විදුහල) වර්තමානයට ද දායාද වී තිබීම ජාතියේම වාසනාවකි.


                                                                     සරම් මුදලිතුමා ඉතිහාසයට එක්‌ වී සිටින්නේ එතුමා විසින් සිදුකරන ලද බෞද්ධ පිංකම් නිසාය. බුදුදහමේ චිරස්‌තිථියට බාධා පැවති යටත් විජිත යුගයේදී කරන ලද එම පිංකම් නිසා මාතර පුරවරය බෞද්ධ ප්‍රබෝධයෙන් ඇලලී ගියේය. එමෙන්ම එය කාව්‍ය ශාස්‌ත්‍ර පුනරුදයට ද පාදක විය.

සරම් මුදලිතුමා විසින් 1780 සිටම විවිධ පිංකම් සිදු කළ බව "සරම්මුදලිගේ පිං පොත" නම් වූ එතුමා විසින් කරන ලද පිංකම් පිළිබඳ ලියූ සටහන් අනුව අනාවරණය වෙයි. සිය ධනය මෙන්ම ශ්‍රමය අලෝභයෙන්ම විය පැහැදම් කළ අතරම හිත්තැටිය රජ මහා විහාරයේ බුදුපිළිමය සහ චෛත්‍යය ඉදිකිරීම සඳහා සිය කර මතින්ම වැලි අදින ලද්දේ එතුමා විසින්ය. ගංගාරෝහණ පූජාව සරම් මුදලිතුමා විසින් සිදුකරන ලද අනගිතම බෞද්ධ පූජාවයි. නිල්වලා ගඟ සේම ගංගාරෝහණ පූජාව ද අයිති වන්නේ මාතරට පමණි. එය මාතරට අනන්‍ය වූ බෞද්ධ පූජා කර්මයකි.

බුදුන් දවස ලිච්ඡවී රජවරුන් විසින් ගංගාරෝහණ පූජෝත්සවයක්‌ සිදු කළ බව බොදු සාහිත්‍යයේ සඳහන් වෙයි. ඉන් පසුව ගංගාරෝහණ පූජාවක්‌ පැවැත්වීමේ ගෞරවය සරම් මුදලිතුමාට හිමි වන්නේය. එතුමාට ඒ සඳහා බුදුන් දවස පැවති ගංගාරෝහණ පූජාව ආභාසය වන්නට ඇත. ගඟ පහළ සිට ඉහළට පූජා පවත්වමින් ගමන් කිරීම ගංගාරෝහණ පූජාවයි. නිල්වලා ගඟ මහ මුහුදට එක්‌වන තොටමුණ පෙනෙන නොපෙනෙන දුරින් පිහිටි වර්තමාන පාලමට සමීපව මෙම පූජාව ආරම්භ කොට ඇත. මාතර සිට ගොඩපිටිය දක්‌වා කි.මී. 18 ක්‌ පමණ ගංගාරෝහණ පූජා  පෙරහැර ගමන් කරයි. එය අකුරැස්‌ස ගොඩපිටිය ඡේතවන රජමහා විහාරස්‌ථානයෙන් නිමාවට පත්වෙයි.

 
                                                                       බුද්ධ කාලයේ සිටි ප්‍රධාන දායකයා වූ අනේපිඬු සිටුතුමා සැවැත්නුවර ඡේතවනාරාමය බුදු පාමොක්‌ මහ සඟරුවනට පූජා කළේය. එහි අනුරුවක්‌ ලෙස තෙමහල් ප්‍රාසාදයක්‌ සරම් මුදලිතුමාද ගොඩපිටිය ඡේතවනාරාම විහාරස්‌ථානයේ ඉදිකරනු ලැබූහ. එහි තැන්පත් කිරීම සඳහා පූජා භාණ්‌ඩ වැඩම කරවීම සඳහා සිදුකරන ලද පූජාවකි. ගංගාරෝහණ පූජාවේ සධාතුක කරඬුව වැඩම කරවීම සඳහා ඔරු පාරු මත තෙමහල් මණ්‌ඩපයක්‌ ද තනා තිබිණි. එහි තෙවැනි මහලේ එම කරඬුව තැන්පත් කළහ. දෙවැනි මණ්‌ඩපයේ සකසන ලද පිරිත් මණ්‌ඩපයක සිට මහා සංඝරත්නය විසින් පිරිත් සඡ්ධායනය කරනු ලැබූහ. පළමු මහලේ නර්තන කණ්‌ඩායමක්‌ නර්තනයේ යෙදුනහ. එහි ඖෂධ හලක්‌ ද පිහිටා තිබිණි.

ඊට අමතරව තවත් ඔරු පාරු සිය ගණනක්‌ද අත්‍යාලංකාර ලෙස සරසා තිබිණි. ඇතැම් ඒවායෙහි සිතුවම් ද ඇඳ තිබිණි. ගඟ දෙපස සල්පිල් ඉදි කොට තිබූ අතර ඒවායෙහි ආහාරපාන ඇතුළු බඩු මුට්‌ටු ඕනෑ තරම් තිබිණි. නන් දෙසින් පැමිණි ජනතාවගෙන් ගඟ දෙපස පිරී ඉතිරී ගියහ. දින දහයක්‌ පුරා ගංගාරෝහණ පූජාව පැවැත්වෙන අතරම යුගාසන ධර්ම දේශනා තිස්‌ දෙකක්‌ ද පැවැත්වූහ. කරතොට ධම්මාරාම, බෝවල ධම්මානන්ද වැනි මහ තෙරවරුන් පවා එම ධර්ම දේශනාවලට වැඩම කොට තිබේ.

මාතරින් එලෙස එක පෙරහැරක්‌ ගමන් කරන විට ගොඩපිටියෙන් ද එවැනි තවත් පෙරහැරක්‌ පැමිණෙයි. එම පෙරහැර දෙක එක්‌ව මුණ ගැසෙන්නේ බළකාවලදීය. පසුව එම පෙරහැර දෙකම එකක්‌ ලෙස යළි ගොඩපිටිය දක්‌වා ගමන් කරයි. එලෙස ගමන් අරඹන්නේ එම ස්‌ථානයේ දී පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සඡ්ධායනයකින් පසුවය.

හිත්තැටිය රජ මහා විහාරස්‌ථානයේ සිට වැඩමවනු ලබන පූජා භාණ්‌ඩ තැන්පත් කරන්නේ ගොඩපිටිය රජ මහා විහාරස්‌ථානයේය. ගංගාරෝහණ පූජාව අවසන් වන්නේ ඉන් අනතුරුවය.

අසිරිමත් වූ එම ගංගාරෝහණ පූජාව මුල් වරට 1806 ඉල් මස (නොවැම්බර්) අටවක පොහෝ දින ආරම්භ කොට ඇත. සරම් මුදලිතුමා විසින් එවැනි අසිරිමත් ගංගාරෝහණ පූජා පහක්‌ පවත්වා තිබේ. ඇතැම් පූජා නාවිමන, අත්තුඩාව ආදී ස්‌ථානවලින්ද ආරම්භ කොට ඇත.

සරම් මුදලිතුමා විසින් සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ ආකෘතිය අනුව ගොඩපිටිය රජ මහා විහාරස්‌ථානයේ ඉදිකරන ලද තෙමහල් ධර්ම මන්දිරයේ එම පූජා භාණ්‌ඩ තැන්පත් කළහ. එම විහාර මන්දිරය මීට කලකට ඉහත දී කඩා ඉවත් කොට ඇත.

 
                                                                           ගොඩපිටිය ඡේතවනාරාම රජ මහා විහාරය සතුව ඇති ලෝකඩමය සක්‌මන් බුදුපිළිම වහන්සේ සුවිශේෂී වැදගත්කමකින් යුතුය. සක්‌මන් බුදු පිළිමයක්‌ ශ්‍රී ලංකාවේදී හමු වී ඇත්තේ පළමු වතාවටය. මහනුවර කලා සම්ප්‍රදායට අනුව නෙළා ඇති මෙම පිළිමයේ දකුණු පාදය ඉදිරියට තැබීමෙන් සක්‌මන් ඉරියව්වක්‌ පෙන්වයි. මෙම බුදුපිළිම වහන්සේ වැඩ සිටියේ දැවමය කුඩා බුදුකුටියක්‌ තුළය. එය වටා සතර වරම් දේව රූප ද සිතුවම් කොට තිබේ. සරම් මුදලිතුමා විසින් පූජා කරන ලද මාහැඟිම පූජා වස්‌තුව මෙම බුදුපිළිම වහන්සේය.

එමෙන්ම ඇත් දළ වලින් දොරවල් යොදා අලංකාර කරන ලද ඡේතවන විහාරයේ ආකෘතිය ද විහාරස්‌ථානයේ පූජා භාණ්‌ඩ අතර දැක ගත හැකිය. අඩි 6 ක්‌ උසැති රිදී බෝධියක්‌ ද එතුමාගේ පරිත්‍යාග අතර වෙයි. මෙහි දී දැක ගත හැකි දොළොස්‌ මහේ පහනක්‌ වෙයි. ඊට තිර සියයක්‌ යෙදිය හැකිය. අති විශාල පිරුවානා පොත් වහන්සේ නමක්‌ ද පූජා කොට ඇතත් අද දක්‌නට නොමැත. එය බහාලන ලද පෙට්‌ටිය පමණක්‌ දැක ගත හැකිය.

                          
                                              සරම් මුදලිතුමා සිය කෙස්‌ වැටිය මුස්‌නක්‌ ලෙස සකසා පන්සලට පූජා කොට ඇත. ඒ ධාතු කරඬුව පිසදැමීම සඳහාය. එවැනි  පිංකම් මහනුවර යුගයේදී සිදු කොට ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747 - 782) රජතුමාය. මහනුවර දළදා මාලිගාවේ ඇති කෞතුක භාණ්‌ඩ අතර එම රජතුමාගේ හිස කෙස්‌වලින් සැකසූ මුස්‌න ද වෙයි.

ඡේතවන විහාරයේදී සරම් මුදලිතුමා පරිහරණය කරන ලද රෙදි අඩි 6 ක්‌ දිගැති මාලය, හිසේ ගසන ලද පනාව දක්‌නට ඇත. එමෙන්ම එහි ඉතා කුඩා මුදු සිය ගණනක්‌ද එකතු කොට තිබේ. පෙරහැරේ ගමන් කරනා අය එම මුද්දක්‌ පැළඳ ගෙන සිටීමේ චාරිත්‍රයක්‌ එකල වූ බව ගොඩපිටිය ඡේතවනාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය අගලකඩ රතනපාල හිමියෝ අප සමඟ පැවසූහ.

ගංගාරෝහණ පූජාව වර්ණනා කොට කටුවන තෝමිස්‌ සමරසේකර දිසානායක මුහන්දිරම්තුමා විසින් පද්‍ය 103 කින් යුතු ගංගාරෝහණ වර්ණනාව නම් කාව්‍ය කෘතියක්‌ ද රචනා කළේය. සුප්‍රකට සව්සත්දම් වාදය නමැති ශාස්‌ත්‍රීය සංවාදය සඳහා හේතු වූයේ එම කෘතියේ සඳහන් වදනකි.

සසර සරණා සව්සත්දම් අමාවෙන් සතොස්‌වා

සගප වෙග සැපත් දුන් දම් රදුන් දම් සඟුන් සෙව්

පෙර මැද ගවනින් මේ තුන් ගෙණේ මුල් කෙමෙන් නම්

පතළ මැති සඳෙක්‌ වී මේ පුරේ කිත් දෙදෙක්‌ වත්

මෙම පද්‍යයේ සඳහන් "සසර සරණා සව්සත් දම් අමාවෙන් සතොස්‌වා" යනුවෙන් කියෑවෙන පද පෙළෙහි ඇත්තේ "සරම්" යන අදහස නොව "සරදම්" යන්න බව එවකට ගාලු පළාතේ වැඩ සිටි මහ උගතකු වූ මීරිපැන්නේ ධම්මරතන හිමියෝ පැවසූහ. එය රට තුළ සුපතළ ශාස්‌ත්‍රීය වාදයක්‌ බවට ද එකල පත් වී තිබිණි. සරම් මුදලිතුමා විසූ සුප්‍රකට වලව්ව මාතර රාහුල විද්‍යාලයට සී. ඒ. ඕදිරිස්‌ සිල්වා මහතා විසින් 1939 දී පරිත්‍යාග කළේය. විද්‍යාල භූමියේ එය පුරා විද්‍යා උරුමයක්‌ ලෙස ආරක්‍ෂා කොට ඇත. වර්ග අඩි 8364 ක භූමි ප්‍රමාණයක වලව්ව ඉංග්‍රීසි හෝඩියේ ඹ අකුරු හැඩැතිව ඉදිකොට තිබේ. මාතරට නිල්වලා ගඟ සේම සරම් මුදලි නාමයද මේ කප පවතින තුරු අභිමානයක්‌ වනු ඇත.

ස්තූතිය- මාධ්‍යෙව්දී දෙනගම ධම්මික රණවීර මහතාට

0 අදහස් දක්වන්න....:

Post a Comment