මුනි සිරිපා සිඹි මින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිඳියන්නේ
නිදහස මහ
මුහදක් වේ
එහි උල්පත පුත
නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ
යුතු වේ
විජය තුමා තම්
මැන්නේ
පිරිවර සෙන් සමගින්නේ
සිටි සැටි දැන් සිහිවෙන්නේ
මගේ පුතා නැළවෙන්නේ
දෙන දිවි මුත් රට වෙනුවෙන්
ජාතික දරුවන් ලැබුවෙන්
මිදි නොයෙක් සතුරු මුවෙන්
ලක් මව් විසුවාය
සුවෙන්
තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ
බට දා
මඟුලක් වී ලක මුළු
දා
දෙව් පුර මෙන් දෙවියන්නේ
සිරි ලක දිව් බබළන්නේ
එහි සක් දෙව් රජු මෙන්නේ
මගේ පුතා ලොකු වෙන්නේ
ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳුවේ
උඹට පුතේ සුව එළවේ
ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ
මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ
සිරි මහ බෝ සිඹිමින්නේ
මහමෙවුනා පෙදෙසින්නේ
සුළං දෑලක් මේ
එන්නේ
මුටසිව රජු සිහිවෙන්නේ
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු
හිමි
පෙව්වෙ උතුම් සදහම්
මී
පුත නුඹටත් පොවමි
එ මී
එදා පටන් මෙසිරි
ලකේ
සම්මා සම් බුදු මැණිකේ
දම් එළියෙන් අඳුරු
මැකේ
මිසදුටු විස කටු නො රැකේ
දනන් කෙරෙන් මෙලක්
දිවේ
පළමුව බොදු බැති
වුවේ
අප පියතිස් නරනිඳු
වේ
ඉගෙන ගනින්
මගේ පුතේ
ලන මෙන් මොක් පුර අරවා
ලෝවා මහ පහ කරවා
ඒ අප සිංහල දරුවා
සිරිලක් මව තුටු කෙරුවා
ගොස් මාගම් පුර
පවරා
අප මහ නා දෙරණිසුරා
මාගම් රජ පරම්පරා
ඇති කොට විසුවේ එ වරා
කරදර දහසක් හමු
වී
ඉන්ටැකි නම් සිනා
වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
අවිචියේ කප් දහසෙත්
වහල් කමේ එක් දවසෙත්
වෙනසක් නැති බව සිතතොත්
උඹට පුතේ වැඩ සැලසෙත්
තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක්
නැතේ
තිස්ස රජුන් හට
රුහුණේ
එඩිතර කුමරකු ලැබුණේ
ඉන් පසු සිරි ලක් දෙරණේ
ජාතික බැති මල් පිපුණේ
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත්
පුත නුඹ වේ
විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත
පැහැදී
ටිබෙට් ජාතික සිකී මහින්ද හාමුදුරුවෝ.......
පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය වන මාතෘ භූමියට
සිංහල භාෂාවට හා බුදු දහමට අමිල සේවාවක් කරමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු
කරවීමෙහිලා මහත්වූ වෙහෙසක් දැරූ විදේශිකයන් අතරින් ප්‍රමුඛස්‌ථානය ලැබෙනුයේ
ටිබෙට් ජාතික සිකීම් මහින්ද හිමියන්ටය.
සිංහලයකු නොවූවද ලක්‌බිමෙහි නොඉපදුණ සිංහල
ජාතිය ගැන බුදුදහම පිළිබඳව නිරතුරුව ජාතික කැක්‌කුමකින් ක්‍රියා කළ මහින්ද හිමියෝ
සිය කවීත්වය උපයෝගි කරගෙන නිදා සිටි සිංහලයන් අවදි කිරීමේ පුරෝගාමී මෙහෙවරක
නිරතවූහ.
එස්. කේ. ටෂිනම්ගල් කුමරු හිමාලය කඳුවැටිය
අසල ටිබැට් ප්‍රදේශයට යාබද සිකීම් නුවරදී උපත ලබන්නේ 1901 වසරේදීය.
උපතින් වසර 13 කට පසුව එනම් 1914 දී ටෂිනම්ගල්
කුමරු ජර්මන් ජාතික හිමිනමක් සමග ලක්‌දිවට පැමිණ මහාබෝධි සමාගමට අයත් විද්‍යාලයකට
ඇතුළුවී ඉගෙනීමෙහි සහජ දක්‍ෂතා දක්‌වමින් අධ්‍යයන කටයුතුවල නිරත විය.
ඒ අතරතුරදී අලුත්ගම සීලක්‌ඛන්ධ
නාහිමියන්ගෙන් සංස්‌කෘත සිංහල, පාලි, බුද්ධාගම ආදී
සියලු ශාස්‌ත්‍රයන් මැනවින් ප්‍රගුණ කරමින් ව්‍යක්‌ත ධර්ම දේශකයන් වහන්සේ නමක්
වූයේ සාමණේර අවධියේදීමය. පසුව දොඩන්දූව ශෛලබිම්බාරාමයේ සිට රත්මලානට පැමිණ රත්මලාන
පුරාණ රජමහා විහාරාධිපතිව සිටි ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝති හිමියන්ගේ ශිෂ්‍යයකුව
මහණ උපසම්පදාව ලබාගෙන ශ්‍රී ධර්මාරාම පිරිවෙනට ඇතුළු වී ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම
යන විභාග වලින් උසස් ලෙස සමත් විය. මහින්ද හිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය
ධුරයකට පත්වන්නේ ඉන් අනතුරුවය.
කුමන කාර්යයක නිරතවී සිටියද දේශවාත්සල්‍ය
දනවන උසස් කවි ලියමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමට මහින්ද හිමියන්
කිසිවිටෙකත් අමතක නොකළේය.
1935 දී ලංකා මාතා නමැති
විශිෂ්ට කාව්‍යය ලියමින් සිය කවීත්වය මැනවින් ඉස්‌මතු කළ උන්වහන්සේ අඛණ්‌ඩව කවි
ලියුවේ අසරණව සිටි සිංහලයාට වහල් බැම්මෙන් මිදී නිවහනව නැඟී සිටීමට ධෛර්යය දීමටය.
මහින්ද හිමියන්ගේ කවි අසිපතනේ නැඟුණු රණහඬ නිදහස් සටනට උරදී සිටි විරුවන්ගේ සිතට
මහත් ශක්‌තියක් විය.
ඔවා මුතු දම නමැති කවි පොත රචනා කරමින් ග්‍රන්ථ කරණයට පිවිසි උන්වහන්සේ ඉතා
වටිනා කාව්‍ය ග්‍රන්ථ 29 ක් සහ ගද්‍ය
ග්‍රන්ථ 11 ක් ලියා
පළකරමින් සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට නොපිරිහෙලා දායක වූහ. කොළඹ යුගයේ ප්‍රථම
කාලයේ දක්‍ෂ කවියකු වූ ටිබෙට් හිමියෝ දිනපතා හා සති අන්ත පුවත්පත්වලට සඟරාදියට
සැපයූ ලිපි කවි ආදිය අප්‍රමාණය.
මහින්ද හිමියන් ළමා පරපුර වෙනුවෙන් ද බොහෝ
කවි ගී ලියා ඇති බව ප්‍රසිද්ධ කරුණකි. ළමා ලෝකයේ සුන්දරත්වය ඉතා සරළව මෙන්ම රසවත්ව
ඉදිරිපත් කරමින් ළමා මනස පුබුදුවාලීමට වෙහෙස දැරීය. ළමා කවි කළඹ, ඔවා මුතු දම, කව් මිණ, කව්මුතු එයට කදිම උදාහරණ වේ.
උන්වහන්සේ සිය ජීවිතයේ අවසන් වසර 15 ම පානදුරේ මහබෙල්ලන සුධර්මාරාම විහාරයේ වැඩ
වෙසෙමින් විශාල ශාසනික මෙහෙවරක නිරත විය. අමද්‍යප ව්‍යාපාරයට සාර්ථක දායකත්වයක්
සපයමින් ඉංග්‍රීසි
පාඨශාලාවක් හා නවලංකා දහම් පාසල පවත්වාගෙන යැමට කටයුතු කළේය.
විදේශිකයකු වුවද සිංහල ජාතිය අසරණව සිටි අවධියක
සිංහල ජාතියේ ඉතිහාසය සහ ප්‍රෞඪතවය පෙන්වා දෙමින් සිංහලයා තුළ දේශානුරාගය හා
නිවහල් හැඟුම් ඇතිකරලීමට දිවිහිමියෙන් කටයුතු කළ ටිබෙට් ජාතික සිකීම් මහින්ද
හිමියෝ 1951 මාර්තු 16 දා ලංකාවාසී සකල බෞද්ධ ජනතාවම ශෝකයට
පත්කරමින් හදිසියේ අපවත්වී වදාළ සේක.
0 අදහස් දක්වන්න....:
Post a Comment